අවාසනාවන්ත කරුණු කාරණා කිහිපයක් මැද නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය.

Anything you like.

අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට.


අද තරගයේ විශේෂ අවස්ථා පහත වීඩියෝව මගින් නැරඹීමට හැකිය .

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නැවත වතාවක් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබාගත්තේය. එයට පිළිතුරු දුන් නවසීලන්තය පන්දුවාර 19කුත් පන්දු 6ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 165ක් වාර්තාකරගනිමින් මේ තරගයේ නිමාව සනිටුහන් කරන ලදි.
පළමු තරගයේ මෙන් සුපුරුදු ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා එක්වා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5ක් තුල ලකුණු 34ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ නොබියව සිය පිතිකරණ රටාව දියත් කළ මෙන්ඩිස් 4 පහර හා 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 24ක් තුල ලකුණු 26ක් ලබාගෙන සෙත් රාන්ස් විසින් එවන ලද වේගය අඩාල කරන ලද පන්දුවක් හමුවේ දැවී ගියේ, මිඩ් ඕෆ් කලාපයේ සිටි ටිම් සවුති වෙත උඩපන්දුවක් ලබාදෙමිනි.
පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී පිතිකරණයෙන් එතරම් කැපීපෙනෙන දස්කම් පෙන්වීමට අපොහොසත් වූ කුසල් පෙරේරා ලකුණු 11කට දැවී ගියේ ඉෂ් සෝදී එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසයි. එදා තරගයේ මෙන්ම මේ තරගයේ දීද ඔහුට මුහුණ දීමට හැකියාව ලැබුනේ පන්දු 10කට පමණක් වන අතර එම අවස්ථාවන් දෙකේදීම ඔහු ලබාගත්තේ ලකුණු 11ක් පමණි. 
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටි මොහොතේ දී පිටියේ එක්වූ වමත් සහ දකුණත් පිතිකරුවන් යුගලය වන නිරෝෂන් දික්වැල්ල හා අවිශ්ක ප්‍රනාන්දු මිනිත්තු 32ක් තුල තෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දු 44ක් වන අතර පන්දු 25කදී ලකුණු 37ක් ලබාගත් ප්‍රනාන්දු තෙවන කඩුල්ල ලෙස දැවී ගියේ සවුතිගේ පන්දුවක් හමුවේයි. එම ඉනිම මනරම් 4 පහර 3කින් හා ස්ලොග් ස්වීප් පහරක් එල්ල කරමින් ලබාගත් එක් 6 පහරකින් වර්ණවත් විය.
ස්කොට් කුගලයින් දසුන් ශානක වෙත එවූ යොමු කළ පළමු පන්දුවෙන්ම දවාගැනීමට සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි. රවීන්ද්‍ර විමලසිරි විනිසුරුතුමන් එය දැවී යාමක් ලෙස සටහන් කළ නමුත්, ශානක ශ්‍රී ලංකාවට තිබූ එකම විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාව උපයෝගී කරගනිමින් එම ලබාදුන් තීරණය තෙවන විනිසුරු  වෙත යොමු කළේය. එහිදී එය එය පැහැදිලි ලෙසම කඩුල්ල මුවා කිරීමේ වරදක් බවට තහවුරු වූයේය. ඉන් පන්දු 10කට පසුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දික්වැල්ල ලකුණු 39ක් ලබාගෙන සිටියදී පිටියෙන් ඉවත් කිරීමට රාන්ස් සමත් විය.
ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළ ශෙහාන් ජයසූරිය තමන් වෙත ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් පන්දු 13කදී ලකුණු 20ක් ලබාගත් අතර ඉසුරු උදානට අද දිනයේ දී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට සාපේක්ෂව පසුපෙළ පිතිකරුවන් තරමක් වේගයෙන් ලකුණු රැස්කරගත් බවක් පෙනෙන්නට වූ අතර සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 161ක් පමණි. එම ලකුණු ප්‍රමාණය රැස්නිකරගැනීමේ දී නිලකුණු ලකුණු පන්දු 40ක් වාර්තා වී තිබූ අතර ඒ නොවන්නට මේ ලබාගත් ලකුණු ප්‍රමාණය ඉක්මවා වැඩි ලකුණු ප්‍රමාණයක් වෙත යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණි. 
පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන ක්‍රීඩක සෙත් රාන්ස් ලකුණු 33කට කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූ අතර ඊට අමතරව කුගලයින් හා සවුති අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය.
පන්දු රකිමින් සිටියදී මාර්ටින් ගප්ටිල්ගේ පාදය ආශ්‍රිතව ඇතිවූ ආබාධමය තත්වයක් නිසා පිටියෙන් ඉවත් වූ අතර, ඒ නිසා අද දිනයේ දී නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ කොලින් මන්රෝ සහ ටිම් සෙයිෆර්ට් යන දෙදෙනායි. ඔවුන් දෙදෙනාම නවසීලන්ත ලකුණු සටහන ලකුණු 38ක් ලෙස සටහන් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය සමත් විය. පිතිකරණ ස්ථානයේ උසස්වීමක් ලබාගනිමින් අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි කුගලයින් හට ද වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අකිල අවස්ථාව ලබානොදුනි. ලකුණු 8ක් ලබාගෙන සිටි කුගලයින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්ව ගියේය. කෙසේ නමුත් නවසීලන්තය සිය පළමු පන්දුවාර 6 තුල (Powerplay) කඩුලු 3ක්  පමණක් දැවී ලකුණු 59ක් වාර්තා කරගෙන ඉතාමත් හොඳ ප්‍රබල ස්ථානයක පසුවිය.
ඉන් පසුව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සාර්ථක ලෙස කරලියට පැමිණි නිසා නවසීලන්ත දල ලකුණු ලබාගැනීමේ වේගය තරමක් මට්ටමකට පාලනය කරගැනීමට අවස්ථාව උදාවුණි. කෙසේ නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ටොම් බෘස් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් අගනා ලකුණු 109ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳවැටුණු නවසීලන්ත ලකුණු සටහන ස්ථාවර කළේය. සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබාගත් දෙවන අර්ධ ශතකය සමඟ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරගත් ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් ලබාගෙන සිටියදී දවාලීමට උදාන සමත් වූයේ අවිශ්ක ප්‍රනාන්දුගේ ද සහාය ඇතිවයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයෙක් වෙමින් ගොඩනැංවුණු එම සබඳතාවය නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් මෙතක් වාර්තා කරගත් හොඳම සබඳතාවය ලෙසට ද වාර්තා අතරට ගියේය. ඒ සබඳතාවය අවසන් කරමින් දැවී ගිය ග්‍රෑන්ඩ්හෝම් පන්දු 46කදී එම ලකුණු 59 වාර්තා කරගත්තේ 4 පහර දෙකක් හා 6 පහර 3ක් එල්ල කරමිනි. 
ලසිත් මාලිංග හා ඉසුරු උදාන පිළිවෙලින් 18වන හා 19වන පන්දුවාර 2ක ක්‍රියාත්මක කළ අතර අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීග්මේ වගකීම පැවරුනේ වනිඳු හසරංග වෙතයි. ඒ වන විට නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දු 7තුල ලකුණු 6ක් ලබාගැනීමට නියමිතව තිබූ අතර එහිදී ක්‍රියාත්මක වූ පළමු පන්දුවේ දීම ලකුණු 53ක් ලබාගෙන සිය  විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරගත් බෘස්ව දක්ෂ ලෙස දවාගැනීමට හසරංග සමත් වූයේය. 
එම පන්දුවාරයේ දෙවන පන්දුවේ දු ඩාර්ලි මිචෙල්ව ද දවාගත් හසරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් තරගයට අවතීර්ණ වූයේය. නමුත් මිචෙල් සැන්ට්නර් තමන් මුහුණ දුන් පළමු පන්දුවේම ලෝන්ග් ඕන් කලාපය හරහා පහරක් එල්ල කළ අතර එය ජයසූරිය දක්ෂ ලෙස රැකගත් නමුත් ජයසූරිය හා මෙන්ඩිස් එකිනෙකා මුහුණට මුහුණ ගැටීම නිසා ජයසූරිය රැකගත් උඩපන්දුව නතර වූයේ ලකුණු 6 සීමාවේය. එහිදී ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්වීම නිසාවෙන් පිටියෙන් ඉවත් වූ අතර නවසීලන්තය 19වන පන්දුවාරයේ සිව්වන පන්දුවට 4 පහරක් එල්ල කරමින් සිය ජයග්‍රහණය සපුරාගත්තේය. 
පන්දු යැවීමේ දී සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ අකිල ලකුණු 36ක් තුල කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වුයේය. 
අද තරගයේ විශේෂ අවස්ථා
👇👇👇👇


Comments

Popular posts from this blog

සිංහයින් 🇱🇰 සමග තරග වැදීමට නියමිත පකිස්තාන 🇵🇰 cricket සංචිතය මෙන්න.

ලසිත් මාලිංගගෙන් ක්‍රීඩකයින්ට උපදෙස් රැසක්... වීඩියෝව සමග ,

Video – ඒක වාර්තා පොත් අලුත් කරපු සුපිරි ගනයේ පන්දු යැවීමක් – පිටියේ කතා